අම්ලපිත්ත රෝගය හා දියවැඩියාව අතර සම්බන්ධය

ජූලි 17, 2020

සුවපත් දිවියක් පවත්වාගෙන යෑමට නම් යහපත් සෞඛ්‍යයක් තිබිය යුතුමය. 

වර්තමානයේ බොහෝ දෙනකු පෙළෙන මානසික පීඩාවන්ට හේතු වන්නේ ඔවුන්ට ඇති කායික රෝගයන්ය. මේවා අතරින් ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගය සහ දියවැඩියාව වැනි ආහාර ජීරණ පද්ධතිය දුර්වල කරන රෝගයන් අතර ප්‍රධාන තැනක් ගනී. ගැස්ට්‍රයිටීස් රෝගය කලක් පැවැතීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය තුළදී ආහාර නිසි ලෙස ජීර්ණය නොවීමෙන් ජීර්ණයෙහි අවසාන අවස්ථාවේදී ශරීර පෝෂණය නොලැබී යන අතර නිසි ලෙස පෝෂණය නොලැබීම සියලුම ශරීර ඉන්ද්‍රියයන්ගේ දුර්වලතාවයන්ට බලපායි. 

ගැස්ට්‍රයිටීස් පමණක් නොව ජීර්ණ පද්ධතිය ආශි‍්‍රතව පවත්නා ග්‍රහණි හෝ වෙනත් ආහාර ජීර්ණය දුර්වල කරමින් පෝෂණ ක්‍රියාවලියට බාධා පමුණුවන සියලුම අවස්ථාවලදී නිසි ප්‍රතිකාර නොගැනීම විවිධ රෝග ගණනාවක මූලාරම්භය වේ. 

අම්ල පිත්ත තත්ත්වය දියවැඩියා රෝගය කෙරෙහි බලපානවද? 

වර්තමානයේ හමුවන දියවැඩියා හෝ අනෙකුත් ප්‍රමේහ රෝගීන් අතරින් වැඩි දෙනකුගේ ජීර්ණ පද්ධතියේ දුර්වලතා මුල සිටම පවතින අතර කලක් තිස්සේ ගැස්ට්‍රයිටීස් හෝ වෙනත් ආහාර ජීර්ණය අඩාල වන හේතු පැවතීම නිසා ආමාශයික යුෂය විකෘති වීමක් සිදුවේ. (අම්ල, භෂ්ම, එන්සයිම ආදියේ ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක සංයුතිය වෙනස්වීම) මෙම හේතුව අග්න්‍යාශය දුර්වල කිරීමට ඍජුවම හෝ වක්‍රව බලපෑම් ඇති කරයි. අග්න්‍යාසය දුර්වල වීම සියලුම ප්‍රමේහ  රෝගයන්හි මූලාරම්භයයි. දියවැඩියා (මධුමේහය) ඉන් අනතුරුව හටගැනීමේ වැඩි ප්‍රවනතාවයක් ඇත. 

දියවැඩියාවෙන් ඇතිවන බලපෑම් මොනවාද? 

දියවැඩියාවට පෙර සිටම ඇතිවන සියලු ප්‍රමේහ රෝගයන්හිදී අග්න්‍යාශයේ ක්‍රියාවලිය දුර්වල වේ. එම නිසා අග්න්‍යාශයික යුෂ (එන්සයිම සහ හෝමෝන) විකෘති වීමක් හෝ නිසි ප්‍රමාණවලින් නිකුත් නොවීම හේතුවෙන් ආහාර ජීර්ණයද විකෘති (දුර්වල) වේ. එහි අතුරු ඵලයක් ලෙස විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. 

දියවැඩියා රෝගය ඇතිවීමට බලපාන හේතුන් මොනවාද? 

අධික සුවපහසු ජීවන රටාවක් පවත්වාගෙන යමින් වැඩපලවල නොයෙදී සිටීම, නිතර නිදාගැනීම, මධුර ආහාර භෝජනය සේවනය කිරීම ජානමය හේතු බලපායි. 

නමුත් වර්තමානයේ බොහෝ සේ වැඩපලවල නිරත වන අයට පවා දියවැඩියාව හැදෙන්නේ ඇයි? එය අවධානයට ලක්විය යුතු කාරණයක්. අතීතයේදී අධික සුබ විහරණ විඳීම සහ ගුරු මධුර ආහාර අධික සේවනය ආදි හේතුන් නිසා අග්න්‍යාශය දුර්වල වීමෙන් දියවැඩියාව ඇති වුණත් දැන් ඊට වෙනස් කාරණා හේතුවෙන්ද අග්න්‍යාශය දුර්වල වීම සිදුවේ. 

ඒ අතරන් ප්‍රධාන තැනක් ගන්නේ වර්තමාන ජීවන රටාව සහ ආහාර රටාවයි. ජීවන රටාව ආහාර රටාව කෙරෙහිද බලපෑම ඇතිකරයි.

ජීවන රටාව 

වඩා කාර්යබහුල අවස්ථාවන් ඇතිවීම එහිදී ඇතිවන මානසික පීඩනයන් ඍජුවම ජීරක යුෂ හෝමෝන ආදියේ ක්‍රියාකාරිත්වයට බලපායි. එමගින් අග්න්‍යාශයද දුර්වල කරයි. ආහාර රටාවේදී කෙටි ආහාර නිතර පරිභෝජනය කිරීම රසායනික ද්‍රව්‍ය බහුල වූ ආහාරපාන භාවිතය ආදි බොහෝ හේතුන් ඇත. 

මේවාට අමතරව පොදුවේ ගත්කල වර්තමානයේදී පරිභෝජනයට ගන්නට ලැබෙන ආහාරවල ගුණාත්මක භාවය බලපාන අතර බොහෝ ආහාරයන් අධික රසායනික ද්‍රව්‍ය සංයුතියකින් යුක්ත වීමත් කලක් තිස්සේ එසේ අහිතකර රසායනික සංඝටකයන් ශරීරය තුළ එක්රැස්වීමෙන් ඒවායේ බලපෑමෙන් සංවේදී කාර්යබහුල ඉන්ද්‍රියයක් මත අග්න්‍යාශය දුර්වල වීමක් සිදුවේ. කුමන ආකාරයෙන් වුවද අග්න්‍යාශය දුර්වල වේ නම් ඕනෑම අයකුට දියවැඩියා තත්ත්වය හට ගැනීමේ අවදානම වැඩිවේ. 

අම්ල පිත්ත රෝග ලක්ෂණ මොනවාද? 

පෙකනිය යට කැක්කුම 

නිතර අජීර්ණ බාධා ඇතිවීම 

ඇඹුල් රස සහ දැවිල්ල උගුරට ඒම 

නින්ද නොයාම හෝ අධික නිදිමත 

ලේ සීදං යාම 

සමේ රෝග සහ අධික කැසීම 

තුනටිය පිට කොන්ද ආශි‍්‍රත වේදනාවත් 

අත්ල සහ යටි පතුල් දාහය 

මද උණ ගතිය, කට තිත්ත ගතිය 

මානසික පීඩාව නිසා ඇතිවන ලිංගික බෙලහීනතාවය 

බරගතිය, අවේලාවේ බඩගින්න, ආමාශයේ තුවාල හටගැනීම, හන්දි ඉදිමීම, රුජාව ශරීර දාහය, නිතර සෙම් කෝපය, මල බද්ධය හෝ විටින් විට මල බුරුල්ව පිටවීම 

අධික ලෙස කේන්ති යාම. අප්‍රාණික ගතිය සහ විවිධ කායික අපහසුතා, මුත්‍රා දැවිල්ල මුත්‍රා ගල් ආදිය ඇතිවීම 

දියවැඩියා රෝග ලක්ෂණ මොනවාද? 

මුත්‍රාවලින් ඇපල් ගඳ නිකුත් වීම, මුත්‍රා බහුල වීම, නිතර බඩගින්න, අස්වාභාවික කෙට්ටු වීම හෝ මහත්වීම, කල් යත්ම කුසගිනි අඩුවීම, නිතර දහදිය දැමීම අක්ෂි රෝග ලිංගික ඉන්ද්‍රියන්හි සිනිදු සම මතුපිට පැලීම් ඇතිවීම සහ කැසීම 

අධික පිපාසය, මල වියළිම, අප්‍රාණික ගතිය. හෘදය දුර්වල වීම, පිටිපතුල් ඉදිමීම, හම වියළීම 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments