ඔබ නිතර හිසරදයෙන් පෙළෙනවා ද

නොවැම්බර් 22, 2019

අද අප ජීවත්වන සමාජයේ බහුතරයක් පෙළෙන රෝගතත්වයක් වශයෙන් හිසකැක්කුම හැඳින්විය හැකිය. සමහර විට මෙය ශරීර අභ්‍යන්තරයේ පවතින රෝගයක ලක්ෂණයක් විය හැකිය.

නමුත් එවැනි රෝගයක් නොමැතිව වැළඳෙන හිසකැක්කුම බොහෝ දෙනකුට වදයක් වී ඇත. හිස ප්‍රදේශයේ ඇතිවන වාතාදි දෝෂයන් නිසා මෙවැනි හිසරදයක් ඇතිවිය හැකිය. නිතර තරහ ගැනීම, නින්ද නොයාම, විහරණමය දෝෂ, ආහාරමය දෝෂ නිසා ශරීරයේ යම් යම් දෝෂ කෝපවිය හැකිය. මෙවැනි තත්වයන් වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් අපේ පැරැන්නන් අතර තිබී ඇත. මෙයින් ඉතාම වැදගත් කාර්යය වන්නේ ත්‍රිදෝෂ සමනය කරන තෙලක් හිසගැල්වීමයි. ඔවුන් මේ සඳහා බොහෝ විට භාවිත කළේ නිවසේදී හිඳගත් තැඹිලි තෙල්ය. එලෙස තෙලක් හිස ගැල්වීම නොකළ විට මෙම අහේතුක හිස කැක්කුම ඇතිවිය හැකිය.

වර්තමාන තරුණ පරම්පරාව තුළ මෙම හිසකැක්කුම ඇතිවීමට හේතුවී ඇත්තේ ඔවුන් පාවිච්චිකරන කෘත්‍රිම වර්ණක, ජෙල් සහ ඩයි වර්ගයි. එම නිසා අපේ දරුවන්ට කුඩා කාලයේ සිට හිසේ තෙල් ආලේප කිරීම පුරුදුකළොත් ඔවුන් මෙම හිසරදයෙන් ගලවාගත හැකිය. තැඹිලි තෙලක් හිඳගත නොහැකි නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කර ආයුර්වේද තෙලක් නිර්දේශ කරගත හැකිය. නිතර නිතර හිසට එල්ලවන පහරවැදීම් නිසාත් මෙම තත්වය ඇතිවිය හැකිය. සමහර දෙමාපියන් දරුවන් වැරැද්දක් කළාම හිසට ටොකු අනිනවා, මුහුණට, කම්මුල්වලට පහර දෙනවා.

මොකද මෙම පහරවල් දිගින් දිගටම එල්ලවන විට පහර ප්‍රමාණාත්මකව කුඩා වුවත් දරුවා වයසින් වැඩෙන විට එය බලපානවා. එම නිසා දෙමාපියන් දරුවන්ට දඬුවම් දෙනවිට පරිස්සම් විය යුතුය. අපේ වෙදකමේදි හිස ආරක්ෂාකර ගත යුතු මර්මස්තානයක් හැටියට සඳහන් වෙයි. එසේම මල මුත්‍ර බඩගිනි කඳුළු වැනි ආවේග දිගින් දිගටම දරා ගැනීමත් අහේතුක හිස්කැක්කුමට හේතුවිය හැකිය. අපේ බොහෝ වැඩිිහිටියෝ කුඩා දරුවකු හඬන විට තර්ජනය, පහරදීම සහ බිය වැද්දීම තුළින් එම ආවේග නතර කරන්න කටයුතු කිරීම නිතර සිදුවේ. එම නිසා දරුවකු හඬන විට බලහත්කාරය යොදවා එය නතර කිරීම වැරැද්දකි. අපේ අත්තලා, මුත්තලා උගතුන් උපාධිධාරින් නොවුණත් ඔවුන් ලබාගත් අත්දැකීම් බහුලයි.

ඔවුන් දරුවෙක් හඬන කොට ගහන්නේ බනින්නේ නැතුව ඔහුගේ අවධානය වෙනත් දෙයකට යොමුකළා, සෙල්ලම් බඩුවක් දුන්නා. සමනලයෙක්, කුරුල්ලෙක් පෙන්නුවා. එහෙම කරලා දරුවා නලවා ගන්න කටයුතු කිරීම ඔවුන්ගේ දක්ෂකමයි. එමගින් දරුවාගේ නිරෝගි භාවය ආරක්ෂා කර ඇත .මේ හැර වැඩිහිටියන් මත්පැන් පානය කර ඇද වැටී නිතර නිතර හිස මහපාරේ හෝ වෙනත් තද දෙයක වැදීම නිසාත් හිසකැක්කුම ඇතිවිය හැකිය. අයිස්වතුර විදුලිපංකා, වායුසමන උපකරන වලින් කරන පරිසරය සිසිල් කිරීමත් දීර්ඝ කාලීනව සිදුකිරීම හිසරදය වැළැඳීමට හේතුවිය හැකිය.

බොහෝ හවස් වී හෝ රාත්‍රිකාලයේ පුරුද්දක් වශයෙන් නෑම නිසා මෙම තත්වය ඇතිවිය හැකිය.

නෑමට අවශ්‍යනම් උදේ දහයත්, දොළහත් අතර කාලය ඉතා හොඳයි. එලෙස කාලය කලමනාකරණය කරගත නොහැකි නම් උදේ වරුවේ නෑම හොඳයි. මිරිස් අධික ලෙස යෙදූ ආහාර මත්පැන් රාත්‍රී නිදිවැරීම හා දෘෂ්ඨී ආබාධ ආදි හේතුන්ද මෙම තත්වයට බලපෑ හැකිය. .තමන්ගේ හිසට අසාත්මික කෘත්‍රිම වර්ණක, ජෙල් හෝ ආලේප නිසාත් මෙම අහේතුක හිසරදය ඇතිවිය හැකිය.

නිරෝගි පුද්ගලයෙක් උනත් දීර්ඝ කාලයක් දවල් නිදා ගැනීමට පුරුදු වුවහොත් එයද හිසරදයට අතවැනීමකි. එම නිසා තමන්ගේ හිස ගැල්වීමට සුදුසු තෙලක් තෝරාගත යුතුය. හිසරදය වළක්වා ගැනීම සඳහාත්, එය සමනය කරගැනීම සඳහාත් තමන්ටම තෙලක් සංයෝග කර ගත හැකිය. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බෙහෙත් හල්වලින් හෝ පුද්ගලික වෙළඳ සැල්වල අලෙවියට ඇති නිර්ගුණ්ඩ්‍යාදී තෛලය, බටුතෙල සහ කෝලසෙලෙස්මා තෛලය සමවගෙන සංයෝග කර හිස ගැල්වීමෙන් අහේතුක හිසරදය සුවකර ගත හැකිය. සෙම ගතිය තියෙන දරුවන්ට උදේ සවස මෙම තෙල නාසයේ පුඩුවලට ආලේප කරන්න පුළුවනි.

 

වෛද්‍ය
ඒ.කේ. නීල්ශාන්ත මහතාගේ
(වෛද්‍ය ග්‍රන්ථ ඇසුරෙනි)
පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි

තලාතුඔය විශේෂ
 



subasetha

Comments