කුළු බඩු වැදගත් ඇයි?

නොවැම්බර් 8, 2019

අපේ එදිනෙදා ආහාරවේල රසවත් කරන කුළුබඩු අපට නැතිවම බැරි තරම් ය. කුළුබඩු වල ගුණාගුණ ප්‍රයෝජන කීමට පෙර මඳක් එහි අතීතය දෙස බැලීම වැදගත් ය. අද අපට අවශ්‍ය සූදුරු – මහදුරු, කොත්තමල්ලි, අප ඉන්දියාව, රුමේනියාව වැනි විදේශවලින් ගෙන්වා ගත්තත් එදා ලංකාවට අවශ්‍ය දෑ මෙහි ම වගා කළා පමණක් නොව පිටරටට ද යවන ලදී. කහ පිටරටින් ගෙන්වීම නැවැත්වීමෙන් පසු පිටරටට ඇදී ගිය මුදල රැඳුණ අතර දැන් මෙහි ම සාර්ථක ලෙස කහ වගා කරයි.

ඕනෑම කුළු බඩු වර්ගයක් ලංකාවේ වැවෙයි. නූතන පරීක්ෂණ වගාවන්ගෙන් ඒ බව තහවුරු වී ඇත. කුළුබඩු අතීතයේ සිට ම ආහාර රසවත් කිරීමට හා කල්තබා ගැනීමට සිංහලයෝ යොදා ගත්හ. ඉඟුරු, කහ සොයා මලය රටට ගිය වෙළෙන්දෙකු ගැන පාලි රසවාහිණී කියයි. මේ සිද්ධිය විවරණය කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලංකාවේ කඳුකරයේ ඉඟුරු, කහ, ගම්මිරිස් එදා බහුල වූ බව කියයි. දකුණු ඉන්දියාවේ ලියවුණු “පට්ටිපානලෙයි” කෘතිය පරිදි ලංකාවේ කුළු බඩු පිටරටට යැවූ බව කියයි. 5 සියවස ලංකාවට ආ “මෝසෙස්” නම් සංචාරකයා ලංකාවේ කුළු බඩු බහුල බව කියයි. කුළුබඩු යොදා පසුව තෙලෙන් බැඳ ආහාර තෙම්පරාදු කිරීම එදා සිංහලයා දැන සිටි බව ථූපවංශය හා සද්ධර්මරත්නාවලියෙන් පෙනෙයි.

භික්ෂූන්ට පිදූ දාන ද්‍රව්‍ය අතර කුළුබඩු, දුන්තෙල් වූ බව තෝනිගල ශිලා ලිපිය කියයි. විශාල උළුහාල් හේනක් ගැන තොරතුරු මැද උල්පොත ටැම් ලිපිය දක්වයි. 13 සියවස ලංකාවට ආ ‘කස්විනි’ සංචාරකයා මෙහි කුළුබඩු බහුල බව කියයි. දඹදෙණි යුගයේ සිට පෘතුගීසි එන තෙක් මුස්ලිම්, අරාබි, චීන වෙළඳුන් අපේ කුළුබඩු මිලදී ගත් අතර පසුව පෘතුගීසි ,ඕලන්ද, ආදි බටහිර ජාතීන් මෙහි ආවේ කුරුඳු හා කුළුබඩු නිසාය. ඉඟුරු, දුරු, මිරිස් නිවෙස් වටා වවා ගැනීම එදා සිරිත බව කාව්‍යශේඛරයෙන් පෙනෙයි.

නොක්ස් හා රොබේරෝ ලංකාවේ වැවුණු කුළුබඩු වර්ග දක්වා ඇත. ලංකාවේ ප්‍රසන්න දේශගුණය නිසා ඕනෑම දෙයක් වැවෙන බව රොබේරෝ ලියයි. ජර්මන් ජාතික හයිටිගේ ලංකා විස්තරය හා නොක්ස් කියන පරිදි මිරිස්, දුරු, ඉඟුරු ආදිය බහා සාදන හොද්දක් දිනපතා බීම සිංහලයන්ගේ සිරිතයි. ඉන් ඔවුන් නිරෝගී කොට ආහාර දිරවීම, පහසු කරවයි. උඩරැටියන් තමාට අවශ්‍ය ඉඟුරු,කහ, ලුණු , සුදුලූණු, නිවෙස් වටා වවා ගත් බව ඩේවිගේ විස්තරයේ එයි. මේ අනුව අප පිටරට කුළුබඩුවලට ඇබ්බැහි වූයේ පරාධීන යුගයෙන් පසු මෑතදීය.

අද කුළුබඩු භාවිතය ලංකාව, ඉන්දියාව වැනි පෙරදිග රටවල බහුල ලෙස ඇත. එදා ශීත කාලය සඳහා ආහාර කල් තබා ගැනීමට පෙරදිග කුළුබඩු යුරෝපයට අවශ්‍ය විය. ලංකාවේ භාවිතා වන කුළුබඩු වර්ග නම් කුරුඳු, කරපිංචා , සූදුරු මහදුරු, කොත්තමල්ලි, එනසාල්, කරාබුනැටි, මිරිස්, ගම්මිරිස් , උළුහාල්, ගොරක, අමු මිරිස්, අමු ඉඟුරු, අබ, සේර, රම්පෙ, කහ, සියඹලා, රතුලූණු , සුදුලූණු ආදියයි. එදිනෙදා මාළු පිනිවලට පමණක් නොව කටදන, ලුණු මිරිස්ද කුළු බඩුවලින් සාදයි. කෑම රුචිය ඇතිවන ලුණුදෙහි ,අච්චාරු ,කුළුබඩුවලින් සාදයි.ආහාර ,කුළුබඩු, බහා තෙම්පරාදු කිරීමෙන් ප්‍රසන්න වෙයි. කුළු බඩුවල ප්‍රයෝජන කීපයකි.

ඉන් ආහාරවල පෙනුම පි‍්‍රයංකර වෙයි. මිරිස් කහ යෙදීම උදාහරණයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන

 

 



subasetha

Comments