සතුරෙකු මෙන් ඔබව පීඩාවට පත්කරන අර්ශස්

සැප්තැම්බර් 20, 2019

අර්ශස් රෝගය වර්තමානය වන විට වයස් භේදයකින් තොරව ඇති බහුල රෝගී තත්ත්වයකි. අර්ශස් රෝගයම මූලගින්න, මූලය යනාදී නම් වලින් ව්‍යවහාර කරන අතර ආයුර්වේද ග්‍රන්ථ තුළ දුර්නාම, ගුද කීල, ගුදාංකුර , මාංස ප්‍රරෝහ ආදී නම් රාශියක්ද භාවිතකොට තිබේ.

එහිදී අර්ශස් රෝගය සතුරෙක් මෙන් ඔබේ ප්‍රාණයට හානිකරන රෝගයක් ලෙසද හඳුන්වා තිබීමෙන් මෙම රෝගය වැළදී ඇති පුද්ගලයා කෙතරම් කායික, මානසික පීඩාවට පත්වන්නේදැයි මනාව පැහැදිලි කරයි.

මහා අන්ත්‍රයේ  (Large Intestine)  හි වියනක් පමණ දිගැති අන්තිම කොටස ගුදය (Rectnim)  නම් වේ. අර්ශස් යනු ගුදගත සිරාස්ථිතිය (Varicose veins)  වේ.ගුදගත ලේ නහරවල ස්වභාවික පීඩනයට බාධා ඇතිවු විට එම ලේ නහරවල පිම්බීම් /ඉදිමීම් ඇතිවන අතර සමීපව ඇති මාංශපේශිවල අංකුර ( මස් දළු වැනි ) ද ඇතිවේ.

මෙම රෝගයේ විවිධ අවස්ථාවන් ඇති අතර රෝග ලක්ෂණද විවිධාකාරව අවස්ථානුකූලව ඇතිවේ. පොදු සමාජය තුළ මළපහ පිටකිරීමේදී ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම හෝ ගුද මාර්ගය අසල වේදනාකාරි හෝ නොවන ගෙඩියක් හෝ යම් ඉදිමුමක් අතට හසුවීම අර්ශස් යැයි විශ්වාස කරයි. එහෙත් එය බරපතල වරදකි. එම ලක්ෂණ දෙක පමණක් අර්ශස් රෝගය යයි නිර්ණය කිරීමට ප්‍රමාණවත් නොවෙයි.

වෛද්‍යවරයෙකු වෙත ගොස් ඒ පිළිබඳ නිවැරදි තහවුරු කරගැනීමක් අත්‍යවශ්‍යයි. එමෙන්ම රෝගය ගුද මාර්ගය අසල පීඩාවට පත්කරන නිසාත්, විටින් විට රෝගයේ උත්සන්න වීම හා සමනයට පත්වීම සිදුවන නිසාත් බොහොමයක් රෝගීන් බොහෝ කාලයක් තිස්සේ පීඩාවට පත්ව සිටියත්, වෛද්‍යවරයෙකු හමුවී තමාගේ ගැටලුව ඉදිරිපත් කිරීමට මැලිවෙයි. එම නිසාම රෝගය සුවවීම සඳහා ගතවන කාලයද වැඩිවිය හැකියි. ඇතැම්විට ශල්‍යකර්ම කරා යොමුවීමටද සිදුවෙයි. එබැවින් රෝගයේ මුල් අවස්ථාවේම වෛද්‍යවරයෙකු මුණගැසීම නුවනැති ක්‍රියාවයි. අනෙක් ඔබ දත යුතු කාරණාව නම් මෙම රෝගය පිළිබඳ ඔබ කිසිසේත් ලැජ්ජාවට පත් නොවිය යුතු බවත් මෙම රෝගය ඉතාමත් සුලභ තත්වයක් වන බවත් ය. ජනවහරේ භාවිත වන “ගේ කුරුල්ලන්ට විතරයි මූලගින්න නැත්තේ” යන කියමනෙන්ද රෝගයේ සුලභත්වය මනාව හුවාදක්වයි.

ආයුර්වේදයට අනුව අර්ශස් ඇතිවන නිදාන (හේතු) මත ප්‍රධාන ආකාර දෙකකි. පළමුවැන්න සහජ හේතු නිසා එනම් මව් හෝ පිය පාර්ශ්වයෙන් ලැබුණ (ජානමය හේතු) නිසා හටගත් අර්ශස් රෝගයයි. මෙය බොහෝවිට පුද්ගලයන්ට අවුරුදු 30-50 ත් අතර කාලයේ රෝගය ඉස්මතු විය හැකිය. ආහාර විහරණ හා විවිධ වැරදි හැසිරීම් නිසා, වැරදි පුරුදු නිසා හෝ විවිධ කාරණාවන් නිසා රෝගය ඉස්මතු වන කාලය වෙනස්විය හැකිය. දෙවැන්න උපතින් පසු විවිධ හේතුකාරණාවන් නිසා හටගත් අර්ශස් රෝගයයි. මීට අමතරව ආයුර්වේද මතානුකූලව හා වෙනත් වෛද්‍යක්‍රම යටතේ අර්ශස් රෝගයේ ප්‍රභේදයන් රාශියකි. ඒවා අපි පසුව පැහැදිලි කර ගනිමු.

දැන් අපි බලමු පොදුවේ අර්ශස් රෝගය හටගැනීමට නැතහොත් තිබෙන රෝගය උත්සන්න වීමට බලපාන ප්‍රධාන හේතූන් කිහිපයක් ගැන. මා පිය පාර්ශ්වයේ ජානමය හේතු මෙන්ම පෙර භවවල කරන ලද අකුසල කර්මයන්ගේ ප්‍රතිඵලයක් ලෙසද මෙම රෝගය ඇතිවිය හැකියි.

තවද ශරීරයේ පහළ කොටසේ සිට ඉහළට රුධිරය ගෙන යන රුධිර නාලයන් අවහිරවීම නිසා (උදාහරණ ලෙස ගෙඩියක් වැනි හේතුවන් නිසා) එම රුධිර නාලයට දැනෙන පීඩනය නිසාත් මෙම රෝගය ඇතිවිය හැකිවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය
එන්.එම්. උයේෂා මධුභාෂිණී
දමින්නගහවත්ත, නවනගරය , මාදම්පේ

සැකසුම – ධම්මිකා රාජපක්ෂ

 



subasetha

Comments