පෝෂණයට අවශ්‍ය ධාතු කොටස් බහුල කංකුං

ජූලි 19, 2019

ශරීරයට ඉතාම ගුණවත් රෝග රැසකටම මහඟු ඖෂධයක්ද වන කංකුං ශරීරගත වූ විස නැති කිරීමේ බලයක් ඇති සමේ රෝග මර්දනය කිරීමේ හැකියාවක් ඇති ප්‍රබල ඖෂධයකි. කංකුං නිතර ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට ඉතාම හිතකරය. එය වයස් භේදයකින් තොරව ආහාරයට ගත හැකි එළවළුවක් මෙන්ම පලාවර්ගයක් වේ.

කංකුං මැල්ලුමක් වශයෙන් හෝ ව්‍යංජනයක් වශයෙන් පිස ආහාරයට එකකර ගත හැකිය.ඉන් ලේ වඩන අතර අවශ්‍ය ලෙස යකඩ ධාතුව ශරීරයට එක්වේ. යකඩ කංකුංවල පැවතීම මෙන්ම ශරීර ශක්තිය වර්ධනයටද ඉවහල් වේ.ආයුර්වේදයේ සඳහන් වන පරිදි කංකුං කෙඳි සහිත බැවින් මලබද්ධය නැතිකිරීමටද සමත් වේ.

කංකුංවල විටමින් ඒ.බී.බී2 සහ විටමින් සී ද සෑහෙන ප්‍රමාණයක් පවතී. යකඩ ඇත්තේ සියයට 3.9 ක ප්‍රමාණයකි. ප්‍රෝටීන් සියයට 2.7 ක් වන අතර ශර්කරා සියයකට එකක් ඇත. ශරීර ගතවූ ඇතැම් විස නැතිකිරීමට කංකුං ඉස්ම බීමට දීම පැරැණ්නන්ගේ අත් බෙහෙත් ක්‍රමයේ එකක් වේ. එයට හේතුවක් වන්නේ කංකුංවල විෂ නසන ගුණයක් පැවතීමයි. ඒ අනුව මීමැස්සන් ඇන්නවිට කංකුං ඉස්ම පෙවීමද එක් අවස්ථාවකි. කංකුංවල විශේෂ ගුණ අතර ක්ෂීර (ක්‍රිමි) වර්ධක ගුණය සහ ශුක්‍රධාතුව වර්ධනය කරන විශේෂ බලයක් පවතී.

එමෙන්ම මධුමේහය නොහොත් දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ටද කංකුං ගුණ බව කියැවේ. එමෙන්ම කංකුංවල මල බුරුල් කරන ගතියක් පවතින නිසා අර්ශස් රෝගීන්ටද යම් සහනයක් ගෙන දේ. මත්වීමෙන් අප්‍රාණිකත්වයට පත්ව සිටින විටද කංකුං ඉස්ම පානය කිරීමට දීමෙන් එම තත්ත්වය මග හැරී යයි. සමහර විට කංකුං ඉස්ම පානය කළ විට වමනය යෑමද සිදුවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන – බී.ඇල් පේ‍්‍රමරත්න

 



subasetha

Comments