සුලබ රෝග අතර වළකාගත හැකි රෝගයකි

ජූලි 12, 2019

අම්ල පිත්ත රෝගය (ගැස්ට්‍රයිටිස්) අද සමාජයේ සුලබ රෝගයක් වී ඇත. වයස් භේදයකින් තොරව ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව ඇතිවිය හැකි මෙම රෝගය ඔබ කල්පනාකාරි වුවහොත් කිසිදු උපද්‍රවයකින් තොරව වළකාගත හැක.

අද සමාජයේ පවත්නා අවිවේකීභාවය කාර්යබහුලතාව විවිධ කෘත්‍රිම ආහාර මානසික ආතතිය බොහෝදුරට මෙම රෝගයට බලපෑ හැක. මෙම රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේ තමන්ට ආහාර ගැනීමට විවේකයක් නොමැතිකමත් වැඩට යාමට ප්‍රමාද වන නිසාත් නිරාහාරව හෝ සුළු ආහාරයකින් බඩගින්න නිවා ගැනීම පමණි.

අද පාසල් යන කුඩා දරුවා ට ආහාර ගැනීමට, ජලය පානය කිරීමට තරම්වත් විවේකයක් නොමැතිය. ඒ තබා ඔවුනට තම ශරීර කෘත්‍ය වන මල මුත්‍රා පහ කිරීමට තරම්වත් විවේකයක් නොමැති තරම්ය. අධ්‍යාපනය අවශ්‍යය. එනමුත් ක්‍රමවත්ව ආහාර ගැනීම නිසි අයුරින් ශරීර කෘත්‍යයන් ඉටු කිරීම, ශරීරයට ව්‍යායාම් ලබාදීම දරුවාට අවශ්‍ය වේ. නමුත් ක්‍රමවත්ව ආහාර ගැනීම මෙන්ම නිසි අයුරු ශරීර කෘත්‍ය ඉටු කිරීම සිරුරට නිසි අයුරින්ම ව්‍යායාම නොලැබීම මානසික පීඩා මේ සියල්ලෙන්ම පාසල් යන දරුවන් අද පීඩාවිඳි. මේවට වගකිව යුත්තන් කවුරුන්ද? උගතුන් රටට අවශ්‍යය, බුද්ධිමතුන් රටට අවශ්‍යය. එසේම නිරෝගී දරු පරපුරක් අපේ රටට සිටිය යුතුය. මව්පියන්ට උදව් කරමින් ඉතාම දුෂ්කර අයුරින් ගමේ ගොඩේ සැදෙන ආහාර අනුභව කළ උගතුන් බුද්ධිමතුන් එදා සිටියාද? ඒවාට අප රට තුළ සාක්ෂි අදත් ඇත.

එනිසා අද අප බොහෝ දුරට රෝගි වී ඇත්තේ සමබල ආහාරයක් නොමැතිව නිසි කලට ආහාරනොගෙන ව්‍යායාම් නොවී මානසික ආතතියෙන් පෙළීම බොහෝ දුරට හේතු වන බව අපට පෙනේ.

බඩගින්න නොමැතිකමට බොහෝදුරට හේතුව වී ඇත්තේ ව්‍යායාම නොමැතිකමය. බඩගින්න නොහොත් අග්නිය ආයුර්වේදයේ වර්ග කර ඇත.

1.මන්ද අග්නිය 2. තීක්ෂණ අග්නිය 3.විෂම අග්නිය 4.සම අග්නිය

මෙයින් මන්ද අග්නිය විෂම අග්නිය තීක්ෂණ අග්නිය රෝග කාරක වේ. සම අග්නිය නිරෝගීතාවය ලබාදේ. නිතරම බඩ පිපුම උදරයේ ඉහළ කොටසේ වේදනාව, ඔක්කාරය, උදරයේ බර ගතිය, පපුවේ දැවිල්ල, පපුවේ බර ගතිය, හිසරදය, සමහර රෝගීන්ට පිපාසය, අධික දහඩිය දැමීම ,කැරකිල්ල මේ රෝග අතර විමසිල්ලෙන් බැලුවොත් හතලිස් වැදෑරුම් පිත් රෝග අතර මේවා හමුවේ. මෙයට වාතය සහ සෙම එක්වීමෙන් සංකීර්ණ ලක්ෂණද ඇතිවිය හැක. එනිසා පිත මෙම රෝගයට ප්‍රධාන බලපෑම් ඇති කරයි.

බොහෝ දෙනා මේ රෝගය සඳහා විවිධ ප්‍රතිකාර ගනී. වෙළඳපලේ නොයෙක් ඖෂධ නිෂ්පාදන සීග්‍රයෙන් අලෙවි වෙමින් පවතී. මොන ඖෂධ ඔබ ගත්තත් ඔබ ආහාරයෙන් ප්‍රවේශම් නොවුනහොත් මෙම රෝගය වලකාගත නොහැකි. රෝගය සංකීර්ණ වීමට පෙර නිසි අයුරින් ප්‍රතිකාර ලබාගත හොත් රෝගය සුව කිරීම පහසු වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

වෛද්‍යාචාරිනී
ගුණවති එදිරිසිංහ

(ඩී.එස්. ඒ.සී.ගෞරව)

බෙහෙත් ශාලාව
මැදගොඩ අමිතිරිගල


සටහන් හා සාකච්ඡාව
යටියන්තොට සමූහ
කුමාරසිංහ ගුණදාස

 



subasetha

Comments