නිවන රෝගිනි මියුරු මී පැණි

ජූලි 26, 2019

ඉතා ඈත අතීතයේ සිට මිනිසා මී පැණි භාවිතාකර ඇත. පැරණි මිසරයේ පාරාවෝ රජවරුන්ගේ මිනී මීකරණය කරන්නට යොදා ගෙන තිබෙන්නේ ද මී පැණි ය.

මිසරයේ පිරමිඩ අතර තැන්පත්කර තිබූ පැපිරස් පත්‍රයක මී පැණි ආහාරයක් හා ඖෂධයක් වශයෙන් භාවිතා කළ හැකි ලොව හොඳම ඖෂධය බව සඳහන් කර තිබුණි. මේ තොරතුරු ස්වල්පය මී පැණිවල ආශ්චර්යට කදිම සාක්ෂි බව කිව යුතු ය.

අපේ අතීත ජනජීවිතය සමඟ මී පැණි ඉතාම වටිනා ඔසුවක් මෙන්ම රසවත් ආහාරයක් ද වේ. පෝෂණ ගුණයෙන්ද අනූන මී පැණි කාන්තාව රුව වඩවන ඖෂධයක් ලෙසද ප්‍රකට ය. මී පැණි ලා කහපාට තරමක් ඇලෙන සුළු ඉතාමත් සුමිහිරි පාරදෘශ්‍ය තරලයකි. මී පැණි වල 73% ක්ම අඩංගුව තිබෙන්නේ ශක්තිය නිපදවීමට උදව්වන ශරීරයට පහසුවෙන් අවශෝෂණය කරගත හැකි සරල සීනිය. මෙම සීනි තුළ පෘක්ටෝස්, ග්ලූකෝස්, මෝල්ටෝස් සහ ලැක්ටෝස් මෙන්ම ඩයිසැකරයිඩ් හා පොලිසැකරයිඩද අඩංගු වේ. මී පැණිවල ජලය අඩංගුවන්නේ 17.1% පමණ සුළු ප්‍රමාණයක් බැවින් විෂබීජවලට වැඩීමට පරිසරයක් මී පැණිවල නිර්මාණය නොවේ. මී වද පවතින භූගෝලීය පරිසර හා මී මැස්සන් පැණි උරා බොන මල් වර්ග අනුව මී පැණිවල අඩංගු සංඝටකවල සුළු වෙනස්කම් ඇතිවිය හැකි ය.

මී පැණි ලඝු (සැහැල්ලු) රූක්ෂ (රළු) හා සූක්ෂ්ම (සියුම්) ගුණවලින් යුක්තය. එසේම මී පැණි ශීත ගුණයෙන්ද යුක්තයි. මේ නිසා පොදුවේ මී පැණි සිරුරේ සෙම හා මේදය අඩුකිරීමේ ගුණයෙන්ද යුක්තයි. විශේෂයෙන්ම පැරණි වූ මී පැණිවල මෙම ගුණය බෙහෙවින්ම අඩංගු ය.

රෝග රැසකට ගුණදෙන කුරුඳු කුඩු මී පැණි මිශ්‍රණය.

කැනඩාවේ සිදුකරන ලද පර්යේෂණවලට අනුව මී පැණි හා කුරුඳු කුඩු එකිනෙක කලතා තනාගත් මිශ්‍රණය පාන්, රොටී, ක්‍රැකර්, බිස්කට් ආදියෙහි තවරා ආහාරයට ගැනීමෙන් ධමනිවල මේද තැන්පත්වීම අඩුවන බව සොයාගෙන ඇත. වයසට යාමත් සමඟ ධමනිවල නම්‍යශීලීතාවය අඩුවන බැවින් කිරීටක ධමනිවල අවහිරතාවයන් ඇතිවන අතර මේ නිසා විවිධ සංකූලතාවයන් ඇතිවිය හැකි ය.

මේ තත්ත්වය මඟහරවා ගැනීමට කුරුඳු කුඩු සමඟ මිශ්‍රකළ මී පැණි මහඟු ඖෂධයක් බව පරීක්ෂණ මඟින් සනාථ වී ඇත. දිනපතා උදය හා සවස මී පැණි මේස හැඳි දෙකක් කුරුඳු කුඩු තේ හැඳි එකකට මිශ්‍රකර පානය කිරීම මඟින් ආතරයිටීස් රෝගයට ඉතාම ගුණදායක බවද තහවුරු වී ඇත. කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ සිදුකළ පරීක්ෂණයකදී දෙසතියක් තුළ කුරුඳු කුඩු හා මී පැණි මිශ්‍රණය උදේ සවස පානය කිරීමෙන් මුත්‍රාශය සහ පිත්තාශය ආශි‍්‍රත විෂබීජ විනාශ වන බවද මෙම පරීක්ෂණවලදී පැහැදිලිවම හෙළි විය.

කුරුඳු කුඩු මේස හැන්දක් සමඟ මී පැණි තේ හැඳි පහක් මිශ්‍රකර එය ජලය මිලි ලීටර් 750 ක දියකර සතියකට දෙතුන් වතාවක් පානය කිරීම මඟින් රුධිරගත කොලෙස්ටරෝල් පාලනයද ආමාශගත තුවාල සුවවන බවද ජපානයේ හා ඉන්දියාවේ සිදුකරන ලද පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.

ශරීරයේ දද, කුෂ්ඨවලට කුරුඳු කුඩු හා මී පැණි සමාන පංගුවලින් අඹරා ආලේප කිරීමෙන් සුවයක් අත්වේ. මේ හැර මෙම මිශ්‍රණය මඟින් ආහාර දිරවීමද පහසු කරවයි.

මී පැණිවලින් විවිධ රෝග තත්ත්වයන්ට කළ හැකි ප්‍රතිකර්ම කීපයක් ..

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ,
වෛද්‍යාචාරිනී
ධම්මිකා අමරසේකර
සටහන රඹුක්කන කීර්ති එස්. කුමාර

 

 



subasetha

Comments