ස්නානය කිරීමත් චිකිත්සාවක්

මැයි 31, 2019


මේ දිනවල නම් වැඩි දෙනෙක් දිනපතා ස්නානය කරන්නේ ඉවසීමට බැරි තරම් දහදිය දමන නිසයි. එහෙත් ස්නානය කිරීම දහදිය දමන නිසා හෝ පුරුද්ද නිසා කළ යුතු දෙයක් නොවෙයි. ආයුර්වේදයට අනුව එය චිකිත්සාවකි. එනිසා කටට දෙකට කෑම මෙන්ම මිනිත්තුවට දෙකට නෑමත් ශරීර සෞඛ්‍යයට හිතකර නැත.

ආයුර්වේදීය දින චර්යාවට අනුව ජීවත් වන්නන්ට ස්නානය දවසේ වැදගත්ම චර්යාවන් අතර එකකි. එය හුදෙක් ජලය ස්නානය කිරීමට පමණක් සීමා නොවෙයි. සිරුරට මඳ උණුසුම් තෙල් සම්බාහනය කර සුදු හඳුන් කුඩු ගල්වා, මල් පෙති එක් කළ ජලයෙන් නෑම කය, මනස, ආත්මය සුවපත් කරන්නක් වශයෙන් සැලකෙයි.

නිසි ලෙස ස්නානයෙන්,

කායික ශක්තිය වැඩි වෙයි. මනස පවිත්‍ර වෙයි.

සමෙන් දහදිය, අපද්‍රව්‍ය, පාරිසරික විස ඉවත් කෙරෙයි.

මානසික විවේකයට මං පෑදෙයි. හැඟීම්වල සමතුලිතතාවක් ඇති වෙයි.

නෑමේදී,

කඩිමුඩියේ ස්නානය නොකර කාලයක් අරගෙන ස්නානය කරන්න.

නෑමේදී ගැඹුරින් හුස්ම ගැනීම පුරුදු පුහුණු කරන්න.

විවේකීව ස්නානය කරන්න. එවිට කයට සහ මනසට උපරිම සෞඛ්‍ය වාසි හිමි වෙයි.

නාන කාමරය සුවඳවත් විමේ වරදක් නැත. එහෙත් කෘත්‍රිම සුවඳින් නම් සුවඳවත් නොකළ යුතුය. සෞම්‍ය ආලෝකය ලබමින් මිහිරි සංගීතය රස විඳිමින් ස්නානය කිරීම ද යහපත්ය.

බොන වතුර මෙන්ම නාන වතුර ද පවිත්‍ර විය යුතුය.

ස්නානය කිරීමේදී උදෑසන ස්නානය ඉතා වැදගත්ය. එය ශුද්ධ වූ නිත්‍ය කර්මයක් කියා හඳුන්වන්නේ එනිසයි. අප නිදා ගන්නා කාලයේදී සිරුරේ එකතු වන මල ද්‍රව්‍ය සියල්ල උදෑසන ස්නානයේදී සේදී පවිත්‍ර වෙයි. මෙසේ පවිත්‍ර වීම මඟින් සුබ දවසකට මුල පිරෙයි. සමේ අපද්‍රව්‍ය ඉවත් නොවුණොත් දවස පුරාම ඒවා සම මත රැඳී තිබෙන අතර ශරීර සෞඛ්‍යයට ද බලපායි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඉන්දියානු ආයුර්වේද
උපදෙස් ඇසුරිනි
- චම්පිකා දීපානි රණසිංහ

 



subasetha

Comments