සම්බුදු දහම නීරෝගි දිවියක පදනමයි

මැයි 17, 2019

“නීරෝගි සුවය උතුම්ම ත්‍යාගයයි. ලද දෙයින් සතුටු වීම විශිෂ්ටම ධනයයි. විශ්වාසවන්ත බව හොඳම නෑයායි”. වෙසක් පුන් සඳින් විහිදෙන කිරණ අපට සිහි ගන්වන්නේ මින් වසර 2562 කට පෙර ලොව එළිය කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසමසම ඥානාලෝකයයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මඟින් එදා මෙදාතුර මනු සතුන් කොපමණ සංඛ්‍යාවක් නම් ගත සිත සුවපත් කර ගන්නේද?

බුදු දහමේ ආලෝකයෙන් ආයුර්වේද ක්ෂේ්ත්‍රයම ඒකලෝක වී තිබේ. මිනිසාගේ ආයු බලය වඩන බෞද්ධ දර්ශනසේ බොහෝ පාඩම් ආයුර්වේදයට එක් කර තිබේ. සිත සහ කය වෙන් කළ නොහැකිය.

කය නොසලකා මනස ගැන සැලකිල්ලක් දැක්වීමත්, මනස ගැන නොසලකා කය ගැන සැලකීමත් කෙනකුගේ කායික මානසික සෞඛ්‍ය පිරිහීමට හේතු වෙයි. කය ඔරුවට සමාන කළ හැකිය. මනස ඔරුකරුයි. ඔරුකරුගේ මඟ පෙන්වීම නොමැතිව ඔරුවට යා නොහැකිය. ඔරුකරුට මඟ පෙන්වීමට හැකි වන්නේ ඔරුවක් ඇති විටය. සිත කය ඔරුකරුත් ඔරුවත් මෙන් අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතී.

මිනිසාගේ සියලු විඳීම්වලට හේතුව දුකය. “රෝග වර්ග දෙකක් පවතිනවා. ඒ කායික රෝග සහ මානසික රෝග. මිනිසුන් වසරක්, දෙකක්, තුනක් වසර ගණනාවක් කායිකව නීරෝගිව සිටින්න පුළුවන්. ඒත් කෙනෙක් මොහොතක් හෝ මානසිකව නිරෝගීව සිටිනු දැකීම මේ ලෝකයේ දුලබ දෙයක්.” බුදුහිමියන් පැවසූ සේක.

මානසික සංයමය බොහෝ කායික රෝග ජය ගැනීමට ආධාර වන බව බුදුහිමියන් දේශනා කොට තිබේ. වරක් නකුල පිතා නම් වයෝවෘද්ධ ගෘහපතියා බුදුරජාණන් වහන්සේ හමු වී වියපත් වී දුබල වන වයසට සහනයක් ලබන අන්දම ගැන උපදෙසක් පැතීය. උන්වහන්සේ ගත රෝගී වුව ද මනස නීරෝගියි යනුවෙන් සිතන ලෙස, එසේ සිතීමට පුරුදු පුහුණු වන ලෙස නකුල පිතාට පැවසීය. එමඟින් ඔහුගේ කායික සෞඛ්‍යය ද යහපත් විය. මනස කයට කෙතරම් සම්බන්ධදැයි සිතීමට එය කදිම උදාහරණයකි.

මනස ප්‍රධානියා වන අතර සියලු මානසික තත්ත්වයන්ට මුල් වන්නේ මනසය. නවීන මනෝ වෛද්‍ය අධ්‍යයන මඟින් හෙළි වී ඇත්තේ බිය නිසා අධික විඩාව, දුබල බව, ප්‍රතිශක්තිය දුබල වීම ඇති වන බවය. එලෙසම කෝපය මාංසපේශීන් අතර සබඳතාව නැති කරයි. මනස කය රෝගී කිරීමට වාගේම සුවපත් කිරීමට ද යොදා ගැනීමට පුළුවන.

නූතන වෛද්‍යවරයාගේ පළමු ඉලක්කය රෝගයට හේතුව සොයා ගැනීමයි. බුදු හිමියන් මිනිසාගේ රෝගී බව ඇතුළු සියලු දුක්ඛ දෝමනස්සයන්ට හේතුව සහ විසඳුම පෙන්වා දී අවසන්ය. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම භව දුකෙන් මිදීමට ඇති මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් ඒ මාර්ගයට අවතීර්ණ වීමට පුළුවන.

මහා බ්‍රිතාන්‍යයේ වැඩ වාසය කරන
අතිපූජ්‍ය මැදගම වජිරඥාණ හිමිපාණන්ගේ

ලිපියක් ඇසුරිනි
සටහන – චම්පිකා දීපානි රණසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 



subasetha

Comments